නාසා එක ඒරියා 51 ඩයිනොසරයින් ගැන කියන ගරාජ් එකක ජිවත් වෙන අවුරුදු 7 පුංචි පුතා

article

ඇමරිකාවේ තියෙන ඒරියා 51 කියන ප‍්‍රදේශයක් ගැනත් පුතා වරින්වර විස්තර කියනවා පුංචි කාලේ ඉඳන්ම දරුවා ග‍්‍රහලෝක ගැන ඒ වගේම විවිධ ග‍්‍රහ වස්තූන් ගැන කියවන්න ගත්තා ලෝකයෙන් වඳවී ගිය සත්ව විශේෂයක් වන ඩයිනොසරයන් ගැන මොන මොනවදෝ කියෙව්වා තවම අවුරුදු හතයි ලංකාවම කතාවෙන පුංචි කොල්ල ගැන තමයි මේ කියන්න හදන්නේ.

කාලය විසින් පමණටත් වඩා අඩන්තේට්ටම් කරන ලද නිවසෙහි එක් අන්තයක් වෙන් කොට ඇත්තේ නිමල් ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ පදිංචිය පිණිසය. ඉතිරි කොටසත් එළිමහන් භූමියත් වැඩ බිම ලෙස නම් කළ හැකිය. තැන තැන අලූත්වැඩියාව පිණිස නතර කොට තිබෙන මෝටර් රථ කිහිපයක්ය. තවත් තැනක ගලවා ඉවත දමන ලද මෝටර් රථ අමතර කොටස් දැකගන්න පුළුවන් ඒ හැරුණු කොට අප දකිමින් හිඳින සහ පවුලේ උදවිය දර්ශනයට නිවසක් යැයි පැවසිය හැක්කේ ඉහත සඳහන් කළ ආකාරයට නිමල් ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් තවමත් එහි පදිංචිව සිටින හෙයින්ය. කඩිනමින් අලූත්වඩියාවක් ඉල්ලා සිටින මේ කියන නිවසෙහි හිමිකාරීත්වය වෙනත් පුද්ගලයෙකු සතු බැවින් නිමල් ඇතුළු පවුලේ උදවිය කලක් තිස්සේ එහි රැඳී සිටින්නේ මාසික කුලී පදනම මතය.දැන් කුලී පදනම මත ගත් කාලයද අවසන් වී යමින් ඇත.මෝටර් රථ අලූත්වැඩියාව පිළිබඳ උපන් හපන්කම් දක්වන නිමල් සහ පවුලේ සාමාජිකයන් රැඳී සිටින මෙම නිවස පිහිටා ඇත්තේ නයිවල දිවුලපිටිය පාර 11 වන පටුමගෙහිය. අපගේ කතාබහේ මාතෘකාව බවට පත්වූයේ මෝටර් රථ කාර්මිකයකු වන හතළිස් නව හැවිරිදි නිමල් වීරසිංහගේ කාර්මික හැකියාවන් පිළිබඳ නොව ඊට හාත්පසින් වෙනස් කරුණක් සම්බන්ධයෙන්ය. මුල මැද අග නිවැරදිව ගලපා එය සටහන් කළ යුතු බැවින් අප එහි ළඟා වූ කාරණය පිළිබඳව නිමල් හමුවේ කරන ලද පැහැදිලි කිරීමෙන් අනතුරුව එයට ප‍්‍රවේශයක් සපයමින් නිමල් සිය කටහඬ අවදි කරන්නට විය.

මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. පවුලෙ වැඩිමලා දුවෙක්. ලොකු දුව ඉපදිලා වසර කීපයකට පස්සේ අපිට දෙවෙනි දරුවා ලැබෙනවා. එයත් දුවෙක්. බිරිඳ රස්සාවක් කරන්නේ නෑ. මෝටර් රථ අලූත්වැඩියා කරන එක තමයි මගේ රස්සාව. දවස තිස්සෙම යකඩ එක්ක හැප්පෙන රස්සාවක් කරා කියල මම අරක්කු සිගරට් එකක්වත් බොන්නේ නෑ. එදා ඉඳන්ම මගේ හීනය වෙලා තිබුණේ අපේ කියල ගෙයක් හදාගෙන බිරිඳ, දරුවන් එක්ක සතුටින් ඉන්න එක විතරයි. ඔය අතරේ තමයි පුතා උපදින්නේ. දෙවෙනි දුව ඉපදිලා අවුරුදු දහතුනකට පස්සෙ තමයි පුතා උපදින්නෙ. දැන් පුතාට අවුරුදු හතක් වෙනවා. පුතා ඉගෙන ගන්නෙ මාරපොල ප‍්‍රාථමික විද්‍යාලයේ 2 ශ්‍රේණියේ. පුතා ඉපදිලා අවුරුදු දෙක හමාරක් විතර ගත වුණාට පස්සෙ එයා ටිකෙන් ටික ඉංග‍්‍රීසි වචන කියන්න ගත්ත. ඊට අමතරව හින්දි භාෂාවෙ එන වචන කියන්න ගත්ත. ඊට අමතරව පෙළක් වෙලාවට පෙර භවයක් ගැන ග‍්‍රහලෝක ගැන ඒ වගේම ලෝක සිතියමේ ඇමරිකාව පිහිටලා තියෙන තැන ආදිය සම්බන්ධයෙන් වරින් වර කියන්න ගත්තා.ඇත්තටම අපිට හිතාගන්නවත් බැරිවුනා කොහොමින් හරි ඒක ටික දවසක් යද්දි දරුවාට අමතක වෙලා යනවා. ඒත් ඉංග‍්‍රීසි භාෂාවයි හින්දි භාෂාවයි කතා කරන එක මෙයා නතර කළේ නෑ. මමවත් මගේ නෝනවත් ඒ ගැන ලොකුවට හිතුවේ නෑ. ඔහොම කාලයක් යද්දී මගෙන් වාහනය අලූත්වැඩියා කර ගන්න මෙතැනට එන මහත්තයෙක් දරුවාව දැකල දරුවාගේ ඉංග‍්‍රීසි දැනුම ගැන පැහැදිල දරුවා ගැන විමසිලිමත් වෙන්න ගත්ත. ඊට පස්සෙ ඒ මහත්තයාම තමයි අපිත් එක්ක කිව්වේ දරුවාට අසාමාන්‍ය ඉංග‍්‍රීසි දැනුමක් තියෙනව ඒ හින්ද දරුවා ගැන ටිකක් අවධානය යොමු කරලා බලමු කියලා. ඇත්තටම අපි දැනගෙන හිටියේ නෑ දරුවා ඉංග‍්‍රීසි වචන නිතර නිතර කිව්වට එයාට හොඳින් ඉංග‍්‍රීසි කතා කරන්න පුළුවන් කියලා. නමුත් හොඳින් ඉංග‍්‍රීසි කතා කරන්න පුළුවන් අය ඇවිත් දරුවත් එක්ක කතා කරන්න ගත්තට පස්සේ තමයි අපි දැනගත්තේ හින්දි භාෂාව වගේම ඉංග‍්‍රීසි භාෂාවත් එයාට එක වගේම කතා කරන්න පුළුවන්කම තියෙනවා කියල.

මෙතැන් සිට මෙහි සටහන් කරනු ලබන්නේ අපගේ කතා නායකයා වන වීරසිංහ ආරච්චිගේ සෙනුර අනුහස් උපන් දා සිට මේ දක්වා ගතවූ වසර 7 තුළ ඔහු තුළින් විද්‍යමාන වන සුවිශේෂී හැකියාවන් සහ දක්ෂතාවන් කිහිපයක් පිළිබඳවය. ඊට පෙර මෙහි ලා වැදගත්ම කරුණක් සටහන් කළ යුතුව ඇත. එනම් පහත පෙළ ගැසෙන්නේ පෙර භවය පිළිබඳ පවසන දරුවෙකු පිළිබඳ සම්ප‍්‍රදායික සටහනක් නොවන බවය.නිමල් සහ ජෙනිටා යුවළට දාව මෙලොව දිනන සෙනුර අනුහස් මේ වන විට හත් හැවිරිදි දරුවෙකි දඟකාරකම් ආදියෙන් අඩුවක් නැති සෙනුර අනුහස් තම කැදැල්ලට ආ දා සිට ඔහුව ”මැණිකක්” සේ රැකබලා ගන්නා නිමල් සහ ජෙනිටා යුවල තම පුතණුවන්ගේ වෙනස්ම ආකාරයේ ක‍්‍රියාකාරකම් හා හැසිරීම් ආදිය පිළිබඳව නිරීක්ෂණය කරනු ලබන්නේ සෙනුර ඉපදී වසර දෙක හමාරක් වැනි කෙටි කලක් ගත වීමත් සමගය. ඒ අනුව තම වැඩිමහල් දියණියන් දෙදෙනාගෙන් දැකගත නොහැකි වූ විශේෂතා කීපයක් නිරීක්ෂණය කරන දෙමාපියන් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකරනු ලබන්නේ ඉන් එපිට පවතින ජීවන අරගලය ජය ගැනීම පිණිස වෙහෙසීම හැර අනෙකුත් කාරණා පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට ඒ වන විට ද කාලය විසින් ඔවුන්ට වේලාවක් වෙන් කර නොතිබීම නිසාය. ඒ පිළිබඳව නිමල්ගෙන් කරන ලද විමසීමේදී තම පුතණුවන් වෙනුවෙන් කළ යුතුවම පැවති යුතුකමක් මගහැරී ගිය තාත්තා කෙනෙකු සතුවන ශෝකීය කටහඬකින් එයට පිළිතුරු දුන් නිමල් පවසා සිටියේ දරුවන්ගේ බඩ කට පිරවීමත් ඔවුන්ට හැකි තරමින් හෝ අධ්‍යාපනය ලබාදීමත් පිණිස දිනපතා කීයක් හෝ මුදලක් ඉපයීම හැර වෙනත් දේ පිළිබඳ අවධානය යොමු කිරීමට තරම් කාල වේලාවක් තමන්ට හෝ බිරිඳට නොතිබූ බවක්ය.

පුංචි කාලේ ඉඳන්ම දරුවා ග‍්‍රහලෝක ගැන ඒ වගේම විවිධ ග‍්‍රහ වස්තූන් ගැන කියවන්න ගත්තා. ඊට අමතරව ලෝකයෙන් වඳවී ගිය සත්ව විශේෂයක් වන ඩයිනොසරයන් ගැන මොන මොනවදෝ කියෙව්වා. ඒ හැර මෙතන වාහන වැඩපොළක් තියෙනවා කියල වෙන පොඩි ළමයි වගේ ඒ ගැන පුතාට වගේ වගක් තිබුණේ නෑ. සෙල්ලම් බඩුවක් ඉල්ලූවත් පුතා ඉල්ලූවේ සත්තු ඉන්න සෙල්ලම් බඩු. අපිත් පුළු පුළුවන් විදියට ඒව එයාට ගෙනත් දුන්න. ඊට පස්සේ පුතා මොකද කරන්නෙ ඒව ගැන විවිධ විස්තර අපිත් එක්ක කියන්න ගත්ත. ඒ සත්තු ජීවත් වෙච්ච කාලය ගැන ඩයිනෝසරයන්ගේ ඇටකටු ගැන ලොකු දැනුමක් අවුරුදු තුන හතරෙ කාලේ ඉඳන්ම පුතා ළඟ තිබුණ. ඒක දැනුත් එහෙමයි. දැනුත් සමහර දවස්වලට උදැල්ලක් අරගෙන වත්තෙ තැන් තැන් හාරනවා. ඔය මොකද කරන්නේ කියල ඇහුවම කියනව ඩයිනෝසරයන්ගේ ඇටකටු පොළොව යට තියෙන්න පුළුවන් ඒව හොයනව කියලා. ඒ ඇරුනම පිටසක්වල ජීවීන් ගැන ඒ සම්බන්ධයෙන් ඇමරිකාවේ ඇතැම් පුද්ගලයන් විසින් සිදුකළ පරීක්ෂණ සම්බන්ධව වරින් වර පුතා අපිත් එක්ක විස්තර කියනවා.ඒ වෙලාවට මම අහනව ‘‘ඔයා මේව දන්නෙ කොහොමද කියල” එතනදි පුතා දෙන උත්තරය තමයි ‘‘ඒව රහස්” කියන එක. ඒ විතරක් නෙවෙයි ඇමරිකාවේ තියෙන ‘‘ඒරියා 51” කියන ප‍්‍රදේශයක් ගැනත් පුතා වරින්වර විස්තර කියනවා. අපිට ඒව ගැන තේරුමක් අවබෝධයක් නැති හින්ද මේ විස්තර ගෙදර අපි තුන් හතර දෙනා දැනගෙන හිටියා මිසක් ඒ ගැන අපි පිටට කියන්න ගියේ නෑ. ඒ ගැන ලොකු දැනුමක් අවබෝධයක් අපට තිබුණත් නෑ.

ඔහොම ඉන්න අතරේ තමයි මගෙන් වාහනය අලූත්වැඩියා කර ගන්න මෙතෙන්ට එන කරුණාරත්න කියල මහත්තයෙක් පුතාගේ මේ හැසිරීම ගැන අපිටත් වැඩිය හොඳින් අවධානය යොමු කරන්න ගත්තේ. ඒ මහත්තයා පුතත් එක්ක ඉංග‍්‍රීසියෙන් කතා කරාට පස්සේ පුතා ඉංග‍්‍රීසී භාෂාව හසුරුවන ආකාරය දැකල අපිත් එක්ක කිව්වා ඒක එසේ මෙසේ හැකියාවක් නෙවෙයි පුතාට ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳව තියෙන්නේ පුදුම උපදවන සුළු හැකියාවක් කියල.ඊට පස්සේ හින්දි භාෂාව හොඳින්ම දන්න කීප දෙනෙක්ම පුතත් එක්ක හින්දි භාෂාවෙන් අදහස් හුවමාරු කරගත්ත. එතනදිත් ඉංග‍්‍රීසි භාෂාවට නොදෙවෙනි ආකාරයට හින්දි කතා කරන්නත් පුතාට පුළුවන්කම තියෙනවා කියල ඒ අයගෙ මාර්ගයෙන් අපි දැනගත්තා. ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ කරුණාරත්න මහත්තයාගේ මැදිහත්වීමෙන් පුතා සම්බන්ධව වීඩියෝ එකක් කරලා සමාජ ජාල මාධ්‍යට නිකුත් කරන්නත් ඒ මහත්වරු කටයුතු කළා. ඊට පස්සේ තමයි අපිවත් නොහිතපු ආකාරයට පුතා සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් කතා කරන්න පටන් ගත්තෙ.අද වෙද්දී රටම දන්නා මේ පුංචි කොල්ල තව ටික කාලයක් යද්දී ලෝකෙම දන්නා චරිතයක් කරන්න පුළුවන් එකට අපිට කරන්න තියෙන්නේ ඔව්න්ට උදව් කරන එක විතරයි මේ වගේ සැගවුණු දක්ෂයෙක් ලෝකෙට අරන් යන්න ඔබත් ඔබට පුළුවන් දේ ඔහු වෙනුවෙන් කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *