ෂැංග්‍රිලා, ඇවන්ඩ්‍රා සුපිරි මඟුල නවත්තලා දුප්පත් පව්ල් 3000කගේ බඩගිනි නිවූ සචින්ත සහ දෙව්ණි

article

කොවිඩ් රට පුරාම ව්‍යාප්ත වී ඇති බව නොරහසකි. මේ නිසා බොහෝ දෙනකුට සිය ජීවිත අහිමි වී ගොසිනි. තවත් සමහරු රෝගී තත්ත්වයට පත්ව සිටිති. මේ නිසා අසරණ දරු පවුල් විශාලය. ඔවුන්ට දිවිගෙවන්නට තරම් හෝ ප්‍රමාණවත් ආදායමක් හෝ රැකියා නැත. බඩවියත රැකගන්නට දරු මල්ලන් ජීවත් කරවන්නට නොහැකිව අන්ත අසරණව සිටින බොහෝ පවුල් අද එදා වේලවත් කන්නට නැතිව දැඩි පීඩාකාරී ජීවිතයක් ගත කරති. එහෙත් මෙම අසරණ වූ දරු පවුල්වලට පිහිට වන්නට ඉදිරිපත්වන පිරිස ඉතාමත් අල්පය.එවන් සමාජයක හද උණුවන හිත කකියන ඇත්තෝද නැත්තේම නොවේ. සචින්ත කියන්නේද එවැන්නෙකි.සචින්ත සිය පෙම්වතිය වූ දෙව්ණිගේ අත ගන්නට සූදානම් වූයේ මේ වසරේ මැයි පහළොස්වැනිදාය. ඒ සඳහා ඔහු ලකලෑස්ති වූයේ වසරකටද පෙර සිටිය. විවාහය සැමරීමටත්, දෙවැනි ගමන සැමරීමටත් ඔවුන් තෝරාගෙන තිබුණේ තරුපහේ හෝටල් දෙකකි. එකතු කරගෙන තිබූ මුදල රුපියල් ලක්ෂ ගණනකි. එහෙත් රටේ පවතින තත්ත්වය අනුව විවාහ මංගල්‍යයක් පැවැත්වීම අසීරු බව සචින්තටත් දෙව්ණිටත් වැටහිණි.

අපි එකතු කරපු සල්ලිවලින් නැති බැරි කන්න විධියක් නැති අයට පිහිට වෙමු.” සචින්ත සිය පෙම්වතියට යෝජනා කළේය. ඇයද ඒ යෝජනාව ඉහළින් පිළිගත්තාය.ආදරය කියන්නේ අපි දෙන්නගේම සතුට පමණක් නෙවෙයි. තව කෙනකුගේ සතුට බලලා අපි සතුටු වෙනවා නම් එතැන තියෙන්නේ සුන්දර ආදරයක්. එහෙම තමයි අපි දෙන්නම හිතුවේ. සචින්ත කීවේය.ඒ අනුව විවාහ මංගල්‍යය සඳහා එක්කාසු කරගෙන තිබූ ලක්ෂ ගණනක මුදල එදා වේල සොයාගත නොහැකිව අසරණව සිටින දුප්පතුන් වෙනුවෙන් වියදම් කොට ඔවුන්ගේ කුසගිනි නිවීමට ඔවුහු තීරණය කළහ.කොවිඩ්නි සා මුළු රටම අසීරු තත්ත්වයකනේ තියෙන්නේ. මිනිසකුට රස්සාව කරලා ජීවත් වෙන්නත් බෑනේ. එදා වේල කන්න දවසකට කීයක් හරි උපයන අයට කන්න වේලවත් සොයාගන්න බැරිවුණා. ඒ නිසා අපි දෙන්නම තීරණය කළා අපේ වෙඩින් එකටයි, හෝම්කමින් එකටයි වියදම් කරන්න තිබුණු මුදල මේ අය වෙනුවෙන් වැය කරන්න ඕනෑ කියලා.දෙව්ණිත් එක පයින් කැමැති වුණා. අපි වෙඩින් එක ගන්න හිටියේ ඇවන්ඩ්‍රා හෝටලයේ. හෝම්කමින් එක ෂැන්ග්‍රිලා එකේ. ඒ හෝටල්වල එක කෑම වේලකට ලොකු මුදලක් යනවා. මේ වෙලාවේ වෙඩින් තියෙන එකත් හරි අමාරුයි.

ඒ නිසා අපි මේ ක්‍රමය තෝරාගත්තා. මුලින් අපි හිතාගෙන හිටියේ මේ පැත්තේ අහිංසක එදා වේලවත් සොයා ගන්න බැරි දරු පවුල් 1000කට 1200කට විතර ආහාර දෙන්නයි. මම ඒක සමාජ ජාලවල දැම්මා කවුරුහරි එහෙම අය ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න කියලා. ඒකට ගොඩාක් ප්‍රතිචාර ආවා. අවසානයේ තුන් හාරදහසකට ආහාර ලබාදෙන්න අපට හැකි වුණා. අපේ සමාජ සත්කාරයට අපේ ඥාතීන්, මිතුරන් වගේම විදේශගතව ඉන්න අයත් උදවු කරන්න ඉදිරිපත් වුණා. අපි දෙන්නට දැනුණේ පුදුමාකාර සතුටක්. අපි වියළි ආහාර බෙදන්න ගෙයින් ගෙට ගියා. ඒ වියළි ආහාර පාර්සලය ලබා දෙද්දී ඔවුන්ගේ දෑස කඳුළින් තෙත් වුණා. එහෙමවත් දෙයක් ඒවෙනකොට ඔවුන්ට ලැබිලා තිබුණේ නැහැ.ඇඳිරි නීතිය නිසා එළියට බහින්නවත් ඔවුන්ට ලැබිලා නැහැ. සමහර අය හිටියේ බෝඩින් කාමරවල හිරවෙලා. අතේ සල්ලි නැහැ. කන්න විධියක් නැහැ. ඒ අය අපිට ගොඩාක් පින් දුන්නා. ඒ අයගේ මුහුණු සතුටින් පිරෙනවා දැකලා අපිත් සතුටු වුණා. ඒ සතුට තමයි අපි දෙන්නම ප්‍රාර්ථනා කළේ. නැකැත් බලලා පිරිවරට කියලා විවාහ මංගල්‍ය උත්සවයක් සංවිධානය කරන්නේ දහසකුත් එකක් බලාපොරොත්තු තියාගෙනයි. එහෙම සංවිධාන කරපු විවාහ මඟුලක් එකපාරටම කැන්සල් වුණාම, කරගන්න බැරි වුණාම සමාජය දකින්නේ ඒක අසුබ ලකුණක් විධියට.ඒක තමයි සමාජයේ හැටි. අපේ විවාහ මඟුලත් කරගන්න බැරි වුණාම එහෙම මතයක් ඇතිවෙන්න ඇති. ඒත් අපි දෙන්න එහෙම හිතුවේ නැහැ. විවාහ උත්සවයට යන මුදල නැති බැරි අයට පිහිට වෙන්නට යොදා ගත්ත එක අතකින් අර වගේ හැඟීමක් නැති කර දැමීමට හේතු වෙන්නත් පුළුවනි

සචින්ත ප්‍රේමරත්නගේ වයස අවුරුදු 26කි. ඔහුගේ ආදරණීය බිරිය දෙව්ණිටද වයස 26කි. සචින්ත ඉන්ජිනේරුවයෙකි. දෙව්ණි ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ වෛද්‍ය ශිෂ්‍යාවකි.සුරාසූදුවෙන් තොර සචින්ත අන් අයගේ සතුට දැක සතුටුවෙන උතුම් තරුණයෙකි. තමා උපයන ධනය නැති බැරි අසරණ අයට දීමේ පුරුද්දක් පෙර සිට ඔහු තුළ පැවැතිණි.සචින්තට දෙව්ණි හමුවී ඇත්තේ ඔහු කොළඹ ආනන්ද විදුහලේ සිප්සතර හදාරන අවධියේදීය.උසස් පෙළ හදාරන ආනන්දයේ බොහෝ සිසුවන්ට වඩා සචින්ත කැපී පෙනුණේය. ඔහු තැන්පත් ගති පැවතුම් ඇත්තෙක් විය.වරෙක සචින්ත ආනන්ද විදුහලේ විවාද කණ්ඩායම නියෝජනය කළේය. ඒ අ.පො.ස. උසස් පෙළ හදාරද්දීය. අන්තර් පාඨශාලීය විවාද තරගවලට සහභාගි වෙද්දී සචින්තට දෙව්ණිමුණගැසිණි. ඇයද ඒ වනවිට කොළඹ ගෝතමී විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි අතර එම විද්‍යාලයේ විවාද කණ්ඩායම නියෝජනය කළාය.ඒ කාලයේ තමයි අපි දෙන්න හඳුනගත්තේ. ඒක යාළුකමක්.” ඒ යාළුකම ප්‍රේමයක් බවට පරිවර්තනය වූයේ ඇය විශ්වවිද්‍යාලයට පියනඟන කාලයේදීය.අපි දෙන්නගේ ආදරය ඇරඹුණේ 2014 දෙසැම්බර් මාසේ 8 වැනිදා. ඒ දවස අපට තවම මතකයි. අපි තවමත් ඒ දිනය සමරන්නෙත් ඒකයි. හැම අවුරුද්දකම දෙසැම්බර් මාසේ 8 වැනිදාට ඒ වෙනුවෙන් අපි මොකක් හරි සමාජ සත්කාරයක් කරනවා. අපි අපේ සැමරුම ලොකුවට ගන්නේ නැහැ. වැඩිම වුණොත් රෑ කෑම වේලක් ගන්නවා. ඒ හැරෙන්න එදාට මුල්තැන දෙන්නේ නැති බැරි පවුලකට හරි උදව්වක් සහනයක් දෙන්නයි.

එදා ඉඳලම අපිට පුරුදු වුණේ නැති බැරි අයට කුමක් හරි උදව්වක් කිරීමයි. ඒ නිසා තමයි මේ පාරත් අපේ මඟුලට එකතු කරගෙන තිබූ මුදල නැතිබැරි එදා වේල කන්න නැති අයට ලබාදෙන්නේ.ආදරය කියන්නේ අපි දෙන්නගේ සතුට පමණක් නෙමේ. තව කෙනෙක් හරි අපේ ආදරයෙන් සතුටු වෙනවා නම් එතැන තමයි සුන්දර ආදරයක් තියෙන්නේ කියලයි අපි හිතුවේ. ඇත්තටම අපි මේ කර්තව්‍ය කළේ ඔන්න ඔය හැඟීමෙන්.”සුළුවෙන් කරන්නට ගිය මෙම පුණ්‍යකර්මයට දසතින් ප්‍රචාරය ලැබෙන්නට විය. ගම්පහ, යක්කල, කලගෙඩිහේන, තිහාරිය, ගිරිඋල්ල, මීරිගම, බත්තරමුල්ල, මරදාන, දෙමටගොඩ ආදී ප්‍රදේශවල නැති බැරි දරු පවුල්වලට වියළි සලාක මලු බෙදා දෙන්නට මොවුන්ට හැකි වී ඇත්තේ ඒ අනුවය.මේ ආහාර මලු බෙදපු කාලේ යන්න එන්න හරිම අසීරුයි. කාලයක් රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය පනවලයි තිබුණේ. දෙමටගොඩ පොලිසියේ ඕ. අයි. සී. මහත්තයා ප්‍රධාන පොලිස් පරීක්‍ෂක පෙරේරා මහත්තය අපි ලොකු සහයෝගයක් දුන්නා ඇඳිරි නීති බලපත්‍ර ලබා දෙන්න. මම මේ ආහාර මලු සේරම මගේ කැබ් එකේ පටවාගෙන ගිහින් තමයි බෙදා දුන්නේ. එදා වේලවත් කන්න නැති දරු පවුල් සොයාගෙන ගිහින් ඒ අයට ඔය ආහාර මලු දුන්නේ ඒ ඒ ගම්වල ග්‍රාමසේවක මහත්වරුන් සම්බන්ධ කරගෙනයි. ඒ අයට එළියටවත් යන්න බැරිව හිටියේ. අම්මෙකුයි දුවෙකුයි හිටියා එක බෝඩිම් කාමරයක හිරවෙලා. දෙන්නාගේම ඇඟේ පහළ කොටස පණ නැහැ. අසරණ තත්ත්වයකයි හිටියේ. අපි මේ ආහාර මලු දුන්නාම ඒ අය හැඬුවා. සතුටු වුණා. ඒ සතුට මමත් දෙව්ණිත් බෙදා ගත්තා.

දවසම කහට කෝප්ප තුනකින් විතරක් පිරිමහගෙන හිටිය දරු පවුල් අපට හම්බ වුණා. ඒ අයට කිසි උදව්වක් ලැබිලා තිබුණේ නැහැ. ඒ අයගේ ඇස්වල කඳුළු අපි දැක්කා. අපි ආහාර මලු බෙදුවම ඒගොල්ලන්ගේ දෑස් සතුටු කඳුළින් පිරුණා. අපි ඒවා දැකලා සතුටු වුණා.මාස එකහමාරක කාලයක් අපි මේ සඳහා වෙහෙසුණා. සෙනසුරාදා ඉරිදා හැරෙන්න හැම දවසකම අපි මේ වියළි ආහාර පාර්සල් නැති බැරි අයට දුන්නා. මේ නිසා අපි හදන ගෙදර වැඩත් නැවතිලා තිබුණේ.මේ පුණ්‍යකර්මය දැකලා, අහල ගොඩාක් පිරිස් අපිට පින් දුන්නා. දවසක් මම කැබ් එකේ ආහාර මලු පටවාගෙන බෙදන්න යනකොට පොඩි අනතුරකින් මගේ කැබ් එක් ඉස්සරහ ලයිට් එකක් බිඳුණා. මම කැබ් එක නතර කරලා වත්තල පාරේ තිබුණු වාහන අමතර කොටස්වෙළෙඳසලකට ගිහින් ඒ ලයිට් එක ගත්තා. ඒත් ඒ වෙළෙඳසල අයිතිකාර මහත්තයා මගෙන් ඒ ලයිට් එකේ මුදල ගත්තේ නැහැ. රුපියල් පහළොස් දාහක් විතර වෙනවා ලයිට් එක. “ඔය, කරන සත්කාරය මම දැක්කා. ඒ නිසා මට සල්ලි එපා, කිව්වා. මට දැනුණේ පුදුම සතුටක්. මම ඒ සතුටින් තමයි මගේ ජීවිතයට සතුට එක්කර ගත්තේ. අන්තිමට අපි පුංචියට විවාහ ගිවිස ගත්තා.සමාජ සත්කාරය හා යහපත් සමාජයක් ඇති කිරීම උදෙසා සචින්තත් දෙව්ණිත් එකතුව සංවිධානයක්ද ආරම්භ කර තිබිණි. “Youth to Rebuild Sri Lanka” නමින් 2019 වසරේ ඇරැඹි මෙම සංවිධානයත් වත්මන් තරුණ පරපුරට දැහැමි ගතිගුණ උගන්වා රටට වැඩදායී පුරවැසියන් කිරීම එකම බලාපොරොත්තුව බව සචින්ත අපි සමඟ පැවැසීය.

අපි මේ සංවිධානයෙන් මූලිකව බලාපොරොත්තු වෙන්නේ මවුපියන්ට සැලකීමයි. අද තරුණ සමාජයේ වැඩිහිටියන්ට මවුපියන්ට සැලකීම අඩුයි. ඒ යහගුණය ගිලිහී ගිහින්. ඒ නිසා අපිට ඕන වුණේ දස මසක් කුස තියාගෙන ලේ කිරි කරලා පොවලා හැදූ වැඩූ තමාගේ අම්මාට තාත්තාට සලකන එක, එයාලා රැකබලා ගන්න එක, ඒ අයට ගරු කරන එක අවබෝධ කරලා දෙන්නයි. අනික නැති බැරි අයට පිහිට වීම, ව්‍යවස්ථාදායක තත්ත්වය ප්‍රවර්ධනය කිරීම, පරිසරය සුරැකීම වගේ කාරණා කිහිපයක්ම මේ සංවිධානය තුළ ක්‍රියාත්මක වෙනවා. ඒකත් මමත් දෙව්ණිත් එකතු වෙලා තමයි පටන් ගත්තේ”සචින්තත් දෙව්ණිත් ආගම ධර්මය අනුව නැති බැරි අයට උදවු උපකාර දෙමින් ජීවත් වන්නට උත්සාහ කරන තරුණ අඹුසැමි යුවළකි.අපි දෙවියන් බුදුන් ඉදිරියේ ඉල්ලන්නේ තව තවත් පිහිට වෙන්න අපට ඉඩ ලබා දෙන්න කියලයි. ඒත් මේ හැම දෙයක්ම කවදා හරි අපිට නැති වෙනවා. අපිව දාලා යනවා. අන්න ඒ අවබෝධය ඇතිව ජීවත් වෙනවා නම්, අනුන්ගේ සතුට දැකලා සතුටු වෙනවා නම් කවදාහරි අපි මේ ජීවන ගමන අවසන් කරන දාට කිසිම දුකක් නැහැ. අපි ජීවිතේ පුරා කරපු දේවල් මතක් වෙලා සතුටු විය හැකියි.” අපූරු ආදර්ශයකින් මුළු රටක්ම පුබුදු කළ සචින්ත ප්‍රේමරත්න හා දෙව්ණි යසාරා සිල්වා අඹුසැමි යුවළට අපි සුබ පතමු. තමන් තවදුරටත් නැති බැරි අයට උදවු කරන්නට සැදී පැහැදී සිටින බවද ඔවුහු අපට කීහ. 0778582622 අංකයෙන් ඔබටත් ඔවුන් හා සම්බන්ධ විය හැකිය.
උපුටා ගැනීම : මව්බිම පුවත්පත

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *