Article

දෙවෙනි ඉනිම රඟපාපු පළවෙනි රාත්‍රියෙන්ම මම තරුවක් බවට පත් වුණා මම රවීන් අයියාට වශීවෙලා හිටියේ ඒ කාලේ

Written by Prasad

ලංකාවේ රංගන ක්ෂේත්‍රය තුළ වර්තමානයේ අතිශය ජනප්‍රියත්වයට පත් තරුණ රංගන ශිල්පිනියක් තමයි ශලිනි ප්‍රනාන්දු කියලා කියන්නේ.දෙරණේ අවුරුදු කුමරිය වෙන්න 2017 ඇයට හැකියාව ලැබෙනවා.එතනින් පටන් තමයි ශලනි දෙවෙනි ඉනිමට සම්බන්ද වන්නේ.දෙවෙනි ඉනිමෙන් ඉතාමත්ම කෙටිකාලෙකින් ජනතාව අතරට යන්න ඇයට හැකියාව ලැබෙනවා ඒ චුටි මැණිකේ ගේ චරිතයෙන්.ලාංකිකයන් බොහෝදෙනෙකු ඇයව හදුනන්නේ ශලිනි කියනවාට වඩා චූටි මැණිකේ කිවුවොත් තමයි.ඉතින් ඇයගේ අලුත්ම තොරතුරු අපිට කිවුවේ මේ විදිහටයි.ඒ දවස්වල අපේ අම්මා කියන්නේ දුව කියලා. ගමේ අය සුදුණි කියනවා. හැබැයි රඟපාන්න ආවට පස්සේ චූටි මැණිකේ වුණා. මේ දවස්වල හැමෝටම ලොක්කි. කොහොමවුණත් තවමත් මම කැමති චූටි මැණිකේ කියලා කතා කරනවාට.

මගේ උපන් ගම මීගමුව. මට අවුරුදු 04 ක් වනකොට තාත්ති මට අහිමි වෙනවා. අම්මයි, අයියයි තමයි ඇස් දෙක වගේ මාව බලාගත්තේ. මේ නිසා අනිත් කෙල්ලන්ට තිබුණ නිදහස මට නැතිව යනවා. උදේට ඉස්කෝලෙට එක්කගෙන යන්නේ අයියා. නිරන්තරයෙන්ම දැඩි ආරක්ෂාවක් මැද්දේ තමයි මම ජීවත් වුණේ. නමුත් යාළුවෝ මැද්දේ සතුටින් ඉන්න උත්සාහ කළා. මොකද, අම්මයි අයියයි සැර දාන්නේ මට තියෙන ආදරේට කියලා මම දන්නවා. ඉස්කෝලේ බැච් පාටියකටවත් යන්න අවසර නම් ලැබුණේ නැහැ.නිළියක් වෙන්න හීනෙකින්වත් හිතුවේ නැහැ. සාමාන්‍ය පෙළ කරන කාලේ ඉඳලම හිතාගෙන උන්නේ පැෂන් ඩිසයිනර් කෙනෙක් වෙනවා කියලා. උසස් අධ්‍යාපනය සඳහා මම තෝරගන්නෙත් ඒ පැත්තමයි. හැබැයි අවුරුදු 17 දී නොහිතපු මොහොතක මම නිළියක් වෙනවා.සිඟිති අවුරුදු කුමරිය තරගයකටවත් සහභාගී නොවුණ මම දෙරණ අවුරුදු කුමරිය සඳහා යන්නේ නාලි පුංචි නිසා. නාලි පුංචිට වුවමනාවක් තිබුණා අවුරුදු 16 පිරුණහම මාව අවුරුදු කුමරිය තරගයකට යවන්න. මගෙන් අහන්නෙවත් නැතිව ඇය දෙරණ අවුරුදු කුමරියට ඉල්ලුම් පත්‍රයක් දාලා. මුල්ම සිලෙක්ෂන් එකට යන දවසේ එතෙන්ට යනකන්ම මම ඇඬුවේ මේ තරගයට ඉදිරිපත් වෙන්න බැහැ කියලා. නමුත් බල කිරීම මත අඬලා අඬලා ඇස් ඉදිමෝගෙන තමයි මූලික වටයේ ආයුබෝවන් කියන වචනය කිව්වේ. විශාල පිරිසක් අතරින් එදා මම අවසාන 12 දෙනා අතරට තේරී පත්වුණා.

අවුරුදු කුමරිය වුණාට පස්සේ මල්බර දෙරණේ වැඩසටහනකට ආවා. එදා තමයි ලක්සිරි සර් මට කතා කරලා කිව්වේ දෙවෙනි ඉනිමේ රඟපාන්න අලුත් යුවතියකට අවස්ථාව තියෙනවා කියලා. මට හිතාගන්න බැරි වුණා. මොකද, ඔයකාලේ මම දෙවෙනි ඉනිමට පිස්සු හැදුණ රසිකාවියක්. රවීන් අයියාගේ රංගනයට කොච්චර කැමතිද කියනවානම් රාත්‍රි පන්ති කට් කරලා ගෙදර එනවා දෙවෙනි ඉනිම බලන්න ඕනි නිසා. ඒ තරම් අසා කරන නාට්‍යයක රඟපාන්න ලැබෙනවා කියන එක මොනතරම් පුදුම හිතෙන කාරණාවක් වුනා. පළවෙනි ස්ක්‍රීන් ටෙස්ට් එකේදී අපට තිබුණේ සොනාලි ටීචර්ගේ චරිතය රඟපාන්න. මම සාරියක් එහෙම ඇඳගෙන ගියේ. බිම බලාගෙන සංයමයෙන් රඟ පෑවා. පස්සේ දැනුම් දෙන්නම් කිව්වා. හැබැයි දෙවෙනි ඉනිමට තෝරගත්තා කියලා චරිත් අයියා කතා කරලා කිවුවහම මට දැනුනේ මුළු ලෝකෙම ලැබුණා වගේ හැඟීමක්. රඟපානවාට වඩා දෙවෙනි ඉනිමේ රඟපාන නළු නිළියෝ බලන්න ලැබෙන එකටයි මම කැමති. මටවත් හිතාගන්න බැරි විදිහට මට මුලින්ම රඟපාන්න තිබුණේ අනුහස් එක්ක. එදා රවීන් අයියත් එක්ක ගත්තු පිංතූරේ තාමත් මගේ ළඟ තියෙනවා. ආධුනික නිළියක් හැටියට ආපු මට කිසිම ලොකුකමක් පෙන්නන්නේ නැතිව රවීන් අයියා කරපු උදවු හැමදාම මගේ මතකයේ තියෙනවා.

ඔය දවස්වල මම ටිකක් මහතයි. දෙවෙනි ඉනිමෙන් මට දුන්න චැලෙන්ජ් එක තමයි ඇඟ අඩු කර ගන්න කියන එක. කොහොමහරි ඩයට් කරලා මම ඇඟ අඩු කර ගත්තා. 50 වෙනි කොටසේ ඉඳලා පුරා අවුරුදු 04 ක් එක දිගට දෙවෙනි ඉනිමේ රඟපානවා. දෙවෙනි ඉනිම රඟපාපු පළවෙනි රාත්‍රියෙන්ම මම තරුවක් බවට පත් වුණා. මම ඒ රඟපාන පූර්ව ප්‍රචාරක පටය නිකුත් වෙච්ච මොහොතේ ඉඳලා ලැබෙන ප්‍රතිචාරවල අඩුවක් තිබ්බේ නැහැ. මේ චරිතයට පිවිසෙනකොට දෙනුවන් අයියා තමයි මාව හඳුන්වා දෙන්නේ. මම දන්න හැටියට දෙනුවන් අයියා හඳුන්වා දුන්න හැම කෙනෙක්ම ජනප්‍රියත්වයේ ඉහළට ගියා.
අවුරුදු 04 ක් දෙවෙනි ඉනිමේ රඟපාන අතරේ පෝය නාට්‍ය කිහිපයකටත් සම්බන්ධ වුණා. අවුරුදු 04 ක් එක දිගට ලිහිණිගේ චරිතය රඟපාලා මාව වෙනස් මගකට යොමු කරන්නේ ලොක්කිගේ චරිතයෙන්. ලිහිණි කියන චරිතයට හාත්පසින්ම වෙනස් චරිතයක් මට තියෙන්නේ. ලිහිණිට වගේ දුක හිතුණට මම ලිහිණි තරම් නිහඬ චරිතයක් නෙමේ. තොරතෝංචියක් නැතිව කතා කරන චරිතයක්. හැබැයි ලොක්කි කියන්නේ ලිහිණිටයි, ශලනිටයි වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. හැමදෙයක්ම දරාගෙන උපේක්‍ෂාවෙන් මුහුණ දෙන චරිතයකට අවශ්‍ය විදිහට මම මගේ දේවල් හදා ගත්තා.

වැඩ ගොඩක් භාර අරගෙන හිරවෙන්න මම කැමති කෙනෙක් නෙවෙයි. ලස්සන වැඩවලට එකතුවෙලා සංයමයෙන් ගමනක් යන්න තමයි කැමති. මොකද මම කලබල කෙනෙක් නෙමෙයි. ජීවිතේ බොහෝම සංවේදීව දකින කෙනෙක්. වැඩ කරන අවස්ථාවලදී හිත් රිදීමක් වුණත් සද්දේ නැතිව පැත්තකට වෙනවා. ඊට පස්සේ හවස කාමරේට ගිහිල්ලා ඇති වෙනකල් අඬනවා. මේ විදිහට මතක් කර ගන්න බැරි තරමටම මම අඬපු වාර අනන්තයි. අප්‍රමාණයි.නිළියන් වුණහම අනිත් අය වගේ අපට හිත රිදුණා කියලා අඬන්න බැහැ. සාමාන්‍ය ගැහැනු ළමයෙක්ට නම් අඬලා ඒ වේදනවා පිට කර ගන්න පුළුවන්. නමුත් නිළියක් වුණහම හැමදේටම මුහුණ දීලා ඉවසගෙන ඉන්න ඕනි. සමහර දවස්වලට මේ ක්‍ෂේත්‍රය එපා වුණ දවස් තිබුණා. ක්‍ෂේත්‍රයේ ඇති වෙච්ච කලකිරීම් එක්ක ජීවිතේ එපා වෙච්ච දවසුත් තිබ්බා. නමුත් තනියම අඬලා ඒ දුක තුනී කරගෙන ආපහු මුහුණ සෝදගෙන වැඩට යනවා. දැන් ඒක මගේ දින චර්යාවේ කොටසක් බවට පත් වෙලා. මට විතරක් නෙවේ ක්‍ෂේත්‍රයේ අනිත් අයත් මේ ඉරණමට මුහුණ දෙනවා මම දැකලා තියෙනවා.

ආදරේ ගැන කියනවනම් යෝජනා එමටයි. ආදරේ කරලත් තියෙනවා. හැබැයි ආදරේ කියන දේ ජීවිතේට වදයක් නොවිය යුතුයි. මමත් ප්‍රාර්ථනා කරන්නේ බොරු නොකරන සහාය දෙන ජීවිතේම මගේ ළඟින් තියෙන ආදරයක්. සමහර පිරිමි ළමයි ඉන්නවා තමන්ගේ කෙල්ලට නීති මාලාවක් දාගෙන ඉන්නේ. අඩු ගානේ ෆෝන් එකවත් ආන්සර් කරන්න දෙන්නේ නැහැ. එතන තියෙන්නේ පෙරේතකමක්. එහෙම පිරිමි ළමයි මානසික රෝගීන් හැටියටයි මම දකින්නේ. ආදරය කියන්නේ විශ්වාසය. එයා මා ගැන විශ්වාසය තැබිය යුතුයි. එතකොට මමත් ඒ විශ්වාසය රකිනවා. අන්න ඒ වගේ ආදරයක් තමයි මගේ ජීවිතයටත් අවශ්‍ය. ආදරය කරන කෙනාට පණ හරි දෙන්න මට පුළුවන්. හැබැයි දැන්ම විවාහ වෙන්න නම් අදහසක් නැහැ.අඩුම ගානේ දෙවෙනි ඉනිම අවුරුදු 04 ක් රඟපාලත් මට තිරයේදීත් ප්‍රේමවන්තියක් වෙන් බැරි වුණා. මුලින්ම මට ඒ අවස්ථාව ලැබුනේ පසුගියදා ලොක්කි ටෙලි නාට්‍යයෙන්. ගමේ වෙල් ඉපනැල්ලේ දිනූෂ අයියා මට ආදරේ කියනවා. හොඳම වැඩේ කියන්නේ දිනූෂ අයියා ඒ දෙබස කියන්න හදනකොටම එහා පැත්තේ උන්න හරක් පට්ටියක් උම්බෑ කියනවා. ආයෙ කියන්න හදනකොට උම්බෑ කියනවා. ඊට පස්සේ එක කියන්න හදනකොට අපට හිනා යනවා. පුංචි තිරයේ මගේ ප්‍රේම කතාවට ඔය විදිහට තමයි හරක් රංචුව බාධා කළේ.

පෞද්ගලික ජීවිතේ මම බොහෝම නිස්කලංක යුවතියක්. කොටින්ම කියනවනම් මම ගැමිත් නෑ. ෂෝෂලුත් නෑ. ඔය දෙක අතර මැද්දේ මම ඉන්නේ. හැමවෙලේම හිතට එකඟව හරියි කියලා හිතන දේ කරනවා. අනවශ්‍ය විදිහට ඇඟ පේන්න අඳින්නේ නැහැ. රඟපාන්න ආපු දවසේ ඉඳලම ඔය ප්‍රතිපත්ති මම ආරක්‍ෂා කර ගත්තා. ඇඳුම නිසා චරිත ප්‍රතික්‍ෂේප කරපු අවස්ථාත් මගේ ජීවිතේ තියෙනවා.විවේකයක් ලැබුණහම මගේ බවුවෝ ටික හුරතල් කරනවා. හැබැයි වුට්ටක් නිදා ගන්නත් ආසයි. පසුගිය දවස්වල නම් ඇති වෙන්න ෆිල්ම් බැලුවා. හොලිවුඩ්, බොලිවුඩ් චිත්‍රපටවලට කැමතියි. ෂාරුක්, කාජල්, විජේ හා ධනුෂ්ගේ චරිතවලට තමයි ගොඩක් කැමති. මටත් ෆිල්ම් කිහිපයකට ආරාධනා ලැබුණා. තිර රචනාවේ තිබුණ ප්‍රශ්න නිසා අත්හරින්න වුණා.දිව්‍යලෝකයේ සැප ලැබුණත් තවමත් කැමති හවසට මීගමුවේ තියෙන මගේ ගෙදර මගේ කාමරේට එන්න. එතන තරම් සැනසීමක් මගේ ජීවිතේ තවත් නැහැ. මොනතරම් දේවල් ලැබුණත් මම වැඩියෙන්ම සතුටු වෙන්නේ මගේ කාමරේට වෙලා දවසේ සිද්ධ වෙච්ච දේවල් මෙනෙහි කරන මොහොතට. ඒක දුකක් නම් තනියම අඬනවා. සතුටක් නම් එක හදවතින්ම විඳ ගන්නවා.

About the author

Prasad

Leave a Comment