Article

මගේ දරුවට ආදරය කරන තරමට මම දැන් එයාගේ පුතාටත් ආදරය කරනවා. සුද්දෙක් බැන්ද සසන්ති ජයසේකර.

Written by Prasad

සසන්ති ජයසේකර කියලා කියන්නේ කාලෙකට කලින් අපේ පුංචි තිරය හැඩ කරපු ඉතා සුරූපී රංගන ශිල්පිනියක් විදියට කාහටත් මතකයේ ඇති. ජූලියා වැනි ජනප්‍රිය චිත්‍රපටි වලට රංගනයෙන් දායක වුණු ඇය ඇය මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ජීවත් වෙන්නේ නැහැ. ඉතින් ඇයගේ ඔබ නොදත් තොරතුරු පුවත් පතකට ඇය මේ විදිහට පල කර තිබුනා. සසන්ති… අවුරුදු එකොළහකට පස්සේ ලංකාවට ආවා… කලා ලොවේ විතරක් නෙමේ… ඔයාගේ රසික රසිකාවියන් බොහෝ දෙනෙක්ට තාමත් සසන්ති ඒ විදිහමයි… ලැබෙන ප්‍රතිචාර ගැන සසන්තිට මොකද හිතෙන්නේ…?

ඇත්තටම ඒ ගැන හරි සන්තෝෂයි… ඒ ඇයි කියලානම් මම දන්නේ නැහැ. මට ඒක තේරෙන්නේ නැහැ. සමහර විට ලංකාවේදී මම හිටපු විදිහ වෙන්න ඇති. ලංකාවේ මම හැමෝම එක්ක හරිම සුහදව හිටියා. ඒ වගේම මම රඟපාපු චරිත මිනිසුන්ට දැනෙන්න ඇති. එයාලාට ඒවා මතකේ තියෙන්න ඇති. ඒ දේවල් හින්දා මේ රටේ මිනිස්සුන්ට මාව අමතක නොවෙන්න ඇති කියලා මට හිතෙනවා. මම පොඩ්ඩක් කෙලින් කතා කරන කෙනෙක්. හැබැයි ෆීල්ඩ් එකේ කා එක්කවත් මම රණ්ඩු කරලා නැහැ. කාත් එක්කවත් තරහාවෙලා හිටියේ නැහැ. මට පුළුවන් විදිහට මම හැමෝ එක්කම කතා කළා. මේ ආපු ටික දවසකට කී දෙනෙක් මම ළඟට ඇවිත් “අනේ සසන්ති කොහොමද…”, කියලා ඇහුවද?… මගේ තාත්තා අසනීප වෙලා හොස්පිටල් එක්කගෙන ගියා. ඒ වෙලාවේදීත් බෙහෙත් ගන්න ආපු අය, නර්ස්ලා, ඩොක්ටර්ස්ලා හරිම සුහදව මාත් එක්ක කතා කළා. ඉතින් ඒ සතුට මට හොඳටම ඇති.

තාමත් සසන්ති ඉස්සර වගේමයි… අවුරුදු එකොළහකටත් පස්සේ ලංකාවට ආවත් සසන්තිගේ පෙනුමේ ලොකු වෙනසක් වෙලා නැහැ… රහස මොකක්ද…?අනේ… ඒක නම් හරියටම දන්නේ නැහැ… ඒ රටේදී මම ගොඩාක් මහන්සිවෙලා වැඩ කරන කෙනෙක්. ඒ වුණාට මම හැමවෙලේම ජිම් එකට යන්න වෙලාව වෙන් කරගන්නවා. මගේ මහත්තයාත් එයාගෙයි මගෙයි ශරීර සෞඛ්‍ය ගැන හරියට සැලකිලිමත් වෙනවා. ඒ වගේම මම කෑමේදී වුණත් ගොඩාක් පරිස්සම් වෙනවා. සමහර කෑම මම කන්නේ නැහැ. හැබැයි ලංකාවට ඇවිත් කිසිම කෑමක් වෙන්කරන්නේ නැතිව ඕනෑම දෙයක් කාපු වෙලාවලුත් තිබුණා. හැබැයි මම පැණි රස කන්නේම නැති තරම්. ඒ වගේම මනුස්සයෙකුගේ රූපය රැකගන්න හිත ලොකු හේතුවක් වෙනවා. ප්‍රශ්න අපි හැමෝටම තියෙනවානේ. ඒ ප්‍රශ්නයක් ආපු වෙලාවක ඒ ප්‍රශ්නය ගැන හිතනවා. හැබැයි මම කවදාවත් ප්‍රශ්නේ මත්තේ නැහෙන්නේ නැහැ. තරහත් යනවා. හැබැයි කවදාවත් ඒ තරහා හිතේ තියාගෙන තරහ කුණු කරගන්නේ නැහැ. එහෙම තරහ හිතේ තියාගෙන ඉඳීමෙන් සිදුවන්නේ අපේ ශරීරයට හානියක්.

සැමියා එක්ක දරුවන් දෙන්නා එක්ක සසන්ති මේ පාර ලංකාවට එන්න විශේෂ හේතුවක් තිබුණද…?එහෙම විශේෂම හේතුවක් තිබුණේ නැහැ… මට ලංකාවට එන්න ඕනකමක් තිබුණා. අවුරුදු එකොළහක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයිනේ. හැබැයි මගේ පුතාගේ ඉගෙනීම කටයුතු, ක්‍රීඩා කටයුතු නිසා මටත් කාර්යබහුල වෙලා හිටියේ. එයාගේ විභාග සහ ක්‍රීඩා කටයුතු තිබුණේ නිවාඩු කාලයේදීයි. ඉතින් මට ඒ කාලේදී ලංකාවට එන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මම උපරිම කාලයක් වෙන්කළේ පුතා වෙනුවෙන්. දැන් ස්ටීව්ගේ පුතායි, මගේ පුතායි දෙන්නම ලොකුයි. දැන් අපේ ළමයි ලොකුයි. ඒ නිසා දැන් මටයි ස්ටීව්ටයි නිදහසේ ඕනෑ තැනකට යන්න පුළුවන්. ස්ටීව් හරි ආසයි සංචාරය කරන්න. දැන් අපි දෙන්නට ඕනෑතරම් ඒ වෙනුවෙන් නිදහස තියෙනවා. ඉතින් මේ නිදහස උපරිමයෙන් භුක්ති විඳිනවා. ඒකට හරියන මහත්තයෙකුත් මට ලැබිලා තියෙනවා. ස්ටීව් කියන්නේ මටයි, මගේ දරුවාටයි ගොඩාක් ආදරය කරන කෙනෙක්. මගේ දරුවට ආදරය කරන තරමට මම දැන් එයාගේ පුතාටත් ආදරය කරනවා. දැන් අපි එක පවුලක්.

ස්ටීව් ලංකාවට ආපු පළමු වතාවනේ… ලංකාවට ස්ටීව් කැමතිද…?ඔව්… ඔව්… එයා ලංකාවට හරි ආසයි… අපි ගාලු ගියා. එයා හරි ආසයි මුහුදට. ඉතින් යන අතරමඟ අපි මහ රෑ කොළඹ පුරා ගියා. කොළඹ හෝටල්වලට එක්කගෙන ගියා. ඊට පස්සේ අපි නුවර දළදා මාලිගාවටත් ගියා. මම බුද්ධාගමේ ස්ටීව් පුංචි කාලේ ඉඳන්ම එයාගේ ආගමට එච්චර නැඹුරුවක් තිබුණු කෙනෙක් නෙවෙයි. ඒ නිසා ස්ටීව් හරි ආසයි දැන් පන්සල් යන්න. මම එයත් එක්ක පල්ලි යන්නත් ආසයි. හැබැයි එයා කියන්නේ “එහෙම ඕනෑ නැහැ” කියලයි. අපේ ගෙදර බුදු පිළිම හතරක් තියෙනවා ගෙට ඇතුළුවෙන තැනත් බුදු පිළිමයක් තියෙනවා. ඉතින් ස්ටීව් ඒකට හරි ආසයි.

ස්ටීව් මුණගැහුණේ කොහොමද…?ස්ටීව් මට මුණගැහුණේ අන්තර්ජාලය ඔස්සේයි. අපි එකම රටේ ජීවත් වුණේ. ඉතින් ඒ ඔස්සේ මුණගැහුණ දෙන්නෙක් ආදරය කරන්න පටන් ගත්තා. අද ස්ටීව් වගේම එයාගේ පුතාත් මට මගේම පුතෙක් වගේයි. මගේ පුතා සේනිය පුතාට වඩා ජෝර්ජ් පුතා මාස හතරකට වැඩිමල්. ඉතින් එකම වයසේ දෙන්නෙක්නේ. වෙලාවකට මේ දෙන්නා හොඳ සහෝදරයෝ දෙන්නෙක් වගෙයි. තවත් වෙලාවකට හොඳ යාළුවෝ දෙන්නෙක්.

දැන් ආයමත් එංගලන්තයට යන්න දින ළඟයි… දුකක් නැද්ද…?අප්‍රේල් 03 වෙනිදා ආයෙත් එංගලන්තයට යනවා. එහෙම දුකක් නැහැ. මම කිසිම දෙයක් බදාගෙන වැඩ කරන්නේ නැහැ. දුක තියෙන්නේ යමක් ලබාගන්න ඕන වුණොත්නේ… නිදහසේ ඉන්න තරමටම හිත සැහැල්ලුයි. මම මේ ආපු ගමන හොඳටම සතුටු වුණා. අපේ දරුවන් දෙන්නයි, ස්ටීව් ඒ සතුට උපරිමයෙන් වින්දා. ඉතින් ආයෙත් අපි එංගලන්තයට යනවා. හැමෝටම තමන් ආසම කරන රස්සාව ලැබෙන්නේ නැහැනේ. ඒ වුණාට අපි ජීවත් වෙන්න රස්සාවක් කරන්න ඕනෙනේ. මට ඕනේ මගේ මානසික සුවයයි. ඒක මට උපරිමයෙන් ලැබෙනවා. මගේ මුහුණු පොත හරහා බොහෝ දෙනා මාත් එක්ක කතාබහ කරනවා. ඒ නිසා ලංකාවෙන් ගියා කියලා ලොකු දුකක් නැහැ.

ස්ටීව් සහ ජෝර්ජ් ලංකාවේ ලස්සන තැන් නැරඹුවා වගේම ලංකාවේ කෑම කන්නත් අවස්ථාව ලැබෙන්න ඇතිනේ… ඒ ගැන තියෙන උනන්දුව කොහොමද…?ඔව්… ඔව්… එයාලට ඒ කෑම කන්නත් ලැබුණා. හැබැයි එංගලන්තයේදීත් මම ආප්ප, කොත්තු ගෙදරදී හදනවා. මම සතියකට එක දවසක් බත් හදලා සිංහල කෑම හදනවාම තමයි. සමහර දවසට මම දවස් දෙකක්වත් බත් කනවා. එයාලා නම් දවසක් අනිවාර්යයෙන්ම බත් කනවා. ඒ දෙන්නටත් දැන් සැරට කෑම කන්න පුළුවන්. ඉස්සර නම් කෑවේ නැහැ. හැබැයි මම හෙමීට ඒක පුරුදු කරලා දැන් හොඳට එයාලත් සැර කෑම කනවා. ලුණු මිරිස්, පොල්සම්බෝල හරි රහයි කියලා ඒ දෙන්නත් දැන් කනවා.

සසන්තිට ආයෙමත් රඟපාන්න ආරාධනාවක් ලැබුණොත්…?සතුටින් බාරගන්නවා. හැබැයි ඒක හොඳම නිර්මාණයක් වෙන්න ඕනේ… බොරුවට කාලය කන නිර්මාණවලට නම් මම එන්නේ නැහැ… එතකොට මගේ කාලයෙනුත් වැඩක් නැහැනේ… හැබැයි හොඳ නිර්මාණයක් ආවොත් මම බාරගන්නවා. මගේ YouTube චැනල් එකක් තියෙනවා. Sasanthi Jayasekara කියන You Tube චැනල් එකෙන් දැන් වගේම ඉදිරියේදී මම කරන කියන දේවල් මගේ ආදරණීය රසික රසිකාවියන්ට බලාගන්න පුළුවන් වේවී. ලංකාවේ නැතත් මම හැමදාම ඒ අය එක්කයි. මට දුන්නු හැම හිනාවකටම හැම සතුටකටම ගොඩාක් ස්තූතියි.

About the author

Prasad

Leave a Comment