Article

මම මගේ ගෞරවය රැකගෙන කලාවේ හිටියා දැන් ළමයි දෙදෙනා සමග ගෙදරට වෙලා ඉන්නවා මංජුලා කුමාරි

Written by Prasad

මංජුලා කුමාරි කියලා කියනවටත් වඩා ඕළු කියලා කිව්වහම අපේ රටේ ගොඩක් දෙනෙක් ඇයව අඳුනනවා. ඒ තරම්ම ප්‍රේක්ෂක ආදරයක් ඒ චරිතය ඔස්සේ ඇය ලබා ගත්තා. ඒ කාලේ ඇයගේ සුන්දර ආකර්ෂණීය සිනහවට පෙම් බඳින තරුණයන් පවා සිටින්න තරම් ඇය වාසනාවන්ත වුනා. ඇයට ඒ හිමිවුන ප්‍රේක්ෂක ආදරය ඒ විදියටම තියාගත්තු ඇය කලාවට දීර්ඝ විරාමයක් තියලා නැවතත් ඇයටම උරුම වුන නර්තන ප්‍රතිභාව සමගින් කලාවට පිවිසුනා. ඒ ගැන විස්තරත් එක්ක ඇයගේ ආදරණීය පවුල ගැන අපි සමග දොඩමළු වුනා.

කාලයක්ම නිහඬව ඉඳලා ඔබ නැවත කලාවට ආවා. ඒ ගැන මොකක්ද ඔබට කියන්න තියෙන්නෙ? ” මම ගොඩක් කාලෙකට පස්සේ ආයෙම කලාවට ටිකක් සම්බන්ධ වුණා. කාලෙකට පස්සෙ හිරු නාළිකාවේ විකාශය වෙන නිවංත ප්‍රසාරගේ සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍ය හා සම්බන්ධ වුනත් පූර්ණ කාලීනව රංගනයේ නිරත වෙන්න මගේ අදහසක් නෑ.

ඒ වගේම කලකට පෙර මම රංගනයෙන් දායක වුණ ඕලු ටෙලි නාට්‍යය නැවත වරක් විකාශය වෙනවා මම දැක්කා. එක දකිනකොට දැනෙන සතුට නම් කියලා නිම කරන්න බැහැ. වසර දහයකට කලින් මම රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍යයක් නැවත විකාශය වීම මම හිතනවා වාසනාවක් කියලා මගේ. එදා වුණු නොබලපු පිරිසකුත් ඉන්නවා දැන් ඒ පිරිසත් ඒක බලනවා. ඊට වඩා වටිනම දේ තමයි දරුවෝ දන්නේ නැහැ මට ඕලු කියලා කියන්න ඇයි කියලා. දැන් ඒකට හේතුව එයාලත් දන්නවා. මොකද එයාලත් ඒ ටෙලි නාට්‍යය නරඹන හින්දා. කොහොම වුනත් මගේ දුව පුතා එක්ක එක දිගට කාලය ගත කරලා එයාලා මගේ ආදරේට හුරුවෙලා. ඒ වගේම එයාලගේ හුරතලයට මම ලෝබ වෙලා. ඒ නිසා දීර්ඝකාලීනව රංගනයේ නිරත වෙන්න මගේ අදහසක් නෑ. මට ගැළපෙන හොඳ දෙයක් ආවොත් මම භාර ගන්නවා.

ඔබගේ පාසල් අධ්‍යාපනය ගැන කීවොත්? මගේ පාසල නුගේගොඩ අනුලා විද්‍යාලය. මට පාසලෙන් ලැබුණු පන්නරය ඉතා විශාලයි. මම පාසල් යන කාලේ ඉඳන් නර්තන විෂයට ගොඩක් ඉදිරියෙන් හිටියා. මට ඒ දැනුම දුන්න මගේ ආදරණීය ගුරුවරුන් මම අදටත් ගොඩක් ආදරයෙන්, ගෞරවයෙන්, මතක් කරනවා. පාසල් කාලයෙන් පසුව කුලසිරි බුදවත්ත රංගායතනයේ මම නර්තනය තවදුරටත් හැදෑරුවා. ඒ වගේම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමාව සහ කලා මාධ්‍යයෙන් බාහිර උපාධිය හැදෑරුවා.පද්මිණි රාමනායක මහත්මිය යටතේ රූපලාවණ්‍ය ඩිප්ලෝමාවක් හැදෑරුවා.ඒ ලැබුණු අත්දැකීම්, ඒ ලැබුණු උගත්කම මම මගේ ඉදිරි කාර්යයන් සඳහා හොඳින් යොදා ගත්තා.නිළියක් විදියට වුණත් මම හිතනවා අධ්‍යාපනය ගොඩක් වැදගත් කියලා. අපේ හැසිරීමට, බාහිර දේවල් වලට, ඒක ගොඩක් වැදගත් වෙනවා.

රංගන ජීවිතයේදී සුරාජ් මාපා කියන චරිතය ඔබට සහය උනේ කොහොමද? ඒ සුසංයෝගය ගැන ඔබ හිතන්නේ මොකක්ද? මට ලැබුණ හොඳම සහාය නළුවෙක් තමයි සුරාඡ් මාපා කියලා කියන්නෙ. එයාගෙන් මට ඒ චරිතය කරන්න හොඳ උදව්වක් ලැබුණා. මොකද අපි කොච්චර රඟපෑවත් වැඩක් නෑ අපිට සම්බන්ධ වෙන නළුවාගෙන් ඒකට සහයෝගයක් ලැබෙන්නේ නැත්නම්. ඒ අතින් බැලුවම සුරාජ් මාපා අයියා සහ මම තිරයට හොඳින්ම ගැලපුනා.

වර්තමානයේ කලාව ගැන ගත්තහම ගොඩක් පුළුල් විදිහට කතා කරන්න ඕන කියලා මම හිතනවා. මොකද එදා නිර්මාණ සහ අද නිර්මාණ ගත්තහම ගුණාත්මකභාවය කියන දේ ගැන ගැටලුවක් ඇතිවෙලා තියෙනවා. මොකද අද නිර්මාණවල ගුණාත්මක භාවය කියන දේ නැති තරම්.සමහර නිර්මාණවල වචන ගොඩක් සැර පරුෂ යි. ගහ ගැනීම් මරාගැනීම් අධිකයි.ප්‍රචණ්ඩකාරී දර්ශන ගොඩක් ඇතුළත් වෙලා තියෙනවා. පොඩි ළමයෙක් එක්ක බලන්න බැරි තරම් දේවල් තියෙනවා.ඒ නිසා මෙහෙම ගියොත් විදේශීය නිර්මාණවලට තව තවත් අපේ රට ඇතුලේ ඉඩකඩ හැදෙයි. ඒක ඇත්තටම අපේ කලාවට ලොකු අභියෝගයක්.

වර්තමාන කාලය ගත්තහම අපිට සමාජ ජාලය තුලින් ලොකු උදව්වක් ගන්න පුළුවන් නිර්මාණ මිනිසුන් අතරට අරගෙන යන්න. මොකද මිනිස්සු වැඩි වශයෙන් සමාජ ජලා භාවිතා කරනවා. ඒ ඔස්සේ සියළු පුවත් සංසරණය වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසා හොඳ නිර්මාණ කරලා ඒවට ප්‍රසිද්ධිය කියන දේ සමාජ ජාලාව ඔස්සේ ලබාගන්න අපේ අය තව තවත් උනන්දු වෙන්න ඕන කියලා මම හිතනවා.

මේ දවස්වල පුද්ගලික ජීවිතය ගැන කිව්වොතින් මම මගේම කියලා පොඩි ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒක “ඕලු මනාලි” ලෙස තමයි මම නම් කරලා තියෙන්නේ.ඒකෙ මම අලෙවි කරන්නේ විදේශ සංචාරවල එහෙම යද්දී මගේ සිත ගත්තු ලස්සන ලස්සන විලාසිතාවන් තමයි. මම ඒකෙන් වෙනසක් කරන්න බලාපොරොත්තු වුණා. ඊට අමතරව ඉතින් මගේ දරුවෝ දෙන්නත් එක්ක මම වැඩ කටයුතු කරගෙන ඉන්නවා. මගේ සැමියාගෙන් අම්මා තාත්තා හැමෝගෙන්ම මට ඒකට ලොකු උදව්වක් ලැබෙනවා.

මංජුලා කුමාරි කියන මගේ ගෙවිලා ගිය ජීවිතය ගැන සහ වර්තමාන ජීවිතය ගැන කිව්වොතින් රංගන ශිල්පිනියක් විදිහට මම මගේ වැදගත්ම රැකගත්තු රංගන ශිල්පිනියක්, බිරිඳක් විදිහට ඉවසීම උපරිමයටම ප්‍රගුණ කරපු බිරිඳක්, මවක් විදියට දරුවන් වෙනුවෙන් කැපකිරීම් කරපු මවක්. ඉතින් මම ගැන මම සතුටු වෙනවා. අනාගත බලාපොරොත්තුවත් ඉතින් ඉදිරියටත් මගේ ජීවිතේ මේ විදිහටම සමබරව රැගෙන යාම තමයි.

About the author

Prasad

Leave a Comment